ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


සංඛ්‍යාත බලපත්‍රකරණය

බලපත්‍රය යනු රේඩියෝ සන්නිවේදන උපකරණ ක්‍රියාත්මක කිරීමට හෝ රේඩියෝ සන්නිවේදනයක් ක්‍රියාත්මක කිරීමට ඒකපාර්ශ්වික අවසරයක් වන අතර එය කොන්ත්‍රාත්තුවක් හෝ ද්විපාර්ශ්වික ගිවිසුමක් ලෙස නොසැලකිය යුතුය. පනතේ 22(2)(b) වගන්තිය යටතේ පරිශීලක කාණ්ඩය බලපත්‍ර ලබා දීමෙන් නිදහස් කර ඇත්නම් මිස රේඩියෝ උපකරණ භාවිතය සඳහා සුදුසු ගාස්තුවක් ගෙවීමෙන් බලපත්‍රයක් ලබාගත යුතු ය.

රේඩියෝ සංඛ්‍යාත වර්ණාවලියේ ආර්ථික විභවය හැකි උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට හැකි වන පරිදි බලපත්‍ර ක්‍රියාවලි සහ කොන්දේසි සකස් කර ඇත.

රේඩියෝ සන්නිවේදන බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය

රේඩියෝ සන්නිවේදන බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පහත දැක්වේ:

  1. රේඩියෝ සංඛ්‍යාත වර්ණාවලි බලපත්‍රයක් සඳහා අයදුම්පත ඉදිරිපත් කිරීමේදී සුදුසු අයදුම්පත්‍ර ආකෘතිය භාවිතා කළ යුතු අතර සහාය ලේඛන සමග ඉදිරිපත් කළ යුතු ය. සියලුම අයදුම්පත්, සංඛ්‍යාත වර්ණාවලි ගාස්තු උපලේඛනය තුළ දක්වා ඇති සුදුසු බලපත්‍ර ගාස්තුව ගෙවූ බවට වන සහතිකයක් සමග ඉදිරිපත් කළ යුතු ය.
  2. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අයදුම්පත ලැබුණු බව ලිඛිතව දන්වනු ඇත.
  3. අවශ්‍ය භාවිතය, ශ්‍රී ලංකාවේ ජාතික සංඛ්‍යාත වෙන්කිරීමේ වගුවේ දක්වා ඇති රේඩියෝ සන්නිවේදන සේවා සමග ගැලපිය යුතු ය.
  4. අදාළ ITU රෙගුලාසි සහ නිර්දේශයන්ට අනුකූල වීම සහතික කිරීම සඳහා ජාතික සංඛ්‍යාත වෙන් කිරීමේ වගුව (NFAT) අනුව අයදුම්පත තක්සේරු කෙරේ.
  5. අයදුම්කරුට අවශ්‍ය තාක්ෂණික පරාමිතීන්ට අනුකූල වීම සම්බන්ධයෙන් අවශ්‍ය සුදුසුකම් සපුරාලීම සහතික කිරීම සඳහා සහ ඉල්ලා සිටින සංඛ්‍යාත පැවරීම දැනටමත් ජාතික වශයෙන් සිදු කර ඇති සංඛ්‍යාත පැවරුම්වලට බාධාවක් නොවන බව තහවුරු කර ගැනීම සඳහා තාක්ෂණික ඇගයීමක් සිදු කරනු ලැබේ. අවශ්‍ය යැයි හැඟෙන්නේ නම් අඩවි විමර්ශනය සිදු කළ යුතු ය.
  6. සමහර අවස්ථාවලදී, විශේෂයෙන් වෙනත් පරිපාලනයක් වෙතට/වෙතින් බාධාවක් ඇතිවන විටෙක, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ජාත්‍යන්තර සංඛ්‍යාත සම්බන්ධීකරණ ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටීන් අනුගමනය කිරීමට සිදු වේ.. එවැනි අවස්ථාවන්හිදී අසල්වැසි පරිපාලනය සමඟ ගිවිසුමක් ඇති කර ගන්නා තෙක් අයදුම්පත් කල් තබා ගනු ඇත.
  7. තක්සේරුව අවසන් වූ පසු, TRCSL බලපත්‍රය නිකුත් කිරීම සඳහා සිය අනුමැතිය ලබා දෙනු ඇත නැතහොත් අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇත්තේ මන්දැයි සඳහන් කරමින් අයදුම්පත ප්‍රතික්ෂේප කරනු ඇත. බලපත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට හේතු ඉල්ලුම්කරුගේ ඉල්ලීම මත දැනුම් දෙනු ලැබේ

බලපත්‍රලාභියාගේ වගකීම්

බලපත්‍රලාභීන් පහත සඳහන් දේ සහතික කිරීම සඳහා වගකිව යුතු වේ:

  • බලපත්‍රයේ කොන්දේසි තුළ උපකරණය ක්‍රියාත්මක කිරීම.
  • ස්ථානයේ වෙනස්කමක් හෝ තාක්ෂණික පරාමිතීන්ගේ වෙනස්කමක් ඉක්මණින්ම TRCSL වෙත දැන්වීම.
  • රේඩියෝ උපකරණ, රේඩියෝ විදුලිසංදේශ පර්යන්තයේ උපකරණ වර්ග අනුමැති රීති සඳහා වන අවශ්‍යතාවයන් සපුරාලීම.
  • වර්ග අනුමැති රීති සහ බලපත්‍ර කොන්දේසි සැපිරෙන පරිදි උපකරණ නිවැරදිව නඩත්තු කිරීම.
  • උපකරණ නඩත්තුව නිසි ලෙස පවත්වා ගැනීම සහ ඉල්ලා සිටීමේදී නඩත්තු වාර්තා TRCSL වෙත ලබා දීම.
  • බලපත්‍රලාභියාගේ අදාළ තාක්ෂණික කාර්ය මණ්ඩලය ඔවුන්ගේ කාර්යයන් සිදු කිරීමට හැකි ලෙස පුහුණුව ලබා තිබීම.
  • අලුත් කිරීමේ දිනට අවම වශයෙන් මසකට පෙර බලපත්‍ර අලුත් කිරීම සඳහා අයදුම් කිරීම.

රේඩියෝ සන්නිවේදන බලපත්‍රවල ලක්ෂණ

  • රේඩියෝ සංඛ්‍යාත වර්ණාවලි බලපත්‍ර සාමාන්‍යයෙන් වසරක කාලයක් සඳහා නිකුත් කෙරේ
  • නිකුත් කරන බලපත්‍රවල ඉදිරිපස පිටුව අත්සන් තබා ඇති අතර එයට බලපත්‍රලාභියාගේ නම, බලපත්‍ර කාණ්ඩය සහ පවරන ලද සංඛ්‍යාත; මධ්‍යස්ථානයේ සම්ප්‍රේෂණ බලය, කලාප පරාසය සහ ධ්‍රැවණය යනාදී වූ තාක්ෂණික පරාමිතීන් සඳහන් වේ.
  • බලපත්‍රයක රෙගුලාසි සහ නියමයන්ට අනුකූල වීමට අපොහොසත් වීම බලපත්‍රය අවලංගු කිරීමට හේතු වේ
  • බලපත්‍රය මගින් රේඩියෝ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම සහ හානිකර මැදිහත්වීම් වැලැක්වීම සඳහා පවරා ඇති සංඛ්‍යාත භාවිතය සම්බන්ධයෙන් යම් තාක්‍ෂණික සීමාවන් පනවා ඇත. නිශ්චිත උපකරණවල පිහිටීම, බලය සහ භූගෝලීය ආවරණය අනුව මෙම සීමාවන් පැනවිය හැකි ය. බලපත්‍රලාභියා මෙම කොන්දේසිවලින් කිසියම් හෝ ආකාරයකින් බැහැර වීම බලපත්‍රය කඩකිරීමකි.
  • රේඩියෝ සංඛ්‍යාත වර්ණාවලි ප්‍රතිපත්තියේ වෙනස්කම් නිසා හෝ වෙනස් වූ ජාතික/ ජාත්‍යන්තර අවශ්‍යතා සපුරාලීමක් සඳහා බලපත්‍රයක් අවලංගු කිරීමට (සංඛ්‍යාත ආපසු ගැනීම) අවශ්‍ය නම්, පවරා ඇති සංඛ්‍යාත වර්ණාවලිය අත්හැරීමට බලපත්‍රලාභියාට නිසි දැනුම්දීමක් කරනු ලැබේ. බලපත්‍රලාභියා උපකරණ ප්‍රසම්පාදනය කිරීමට සිදු කළ ආයෝජනයන් සහ විකල්ප සන්නිවේදන පහසුකම් අත්පත් කරගැනිමට ගතවන කාලය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එම අත්හැරීම සිදු කිරීමට වසර 2-4 දක්වා දැනුම්දීම් කාලයක් ලබා දෙනු ලැබේ.

බලපත්‍ර ගාස්තුව

එක් එක් බලපත්‍රලාභියාගේ ක්‍රියාකාරකම් නියාමකයාට සෘජු පිරිවැය පනවයි. නිකුත් කිරීමේ, දත්ත නඩත්තු කිරීමේ, සංඛ්‍යාත වර්ණාවලි අධීක්ෂණ සහ තනි බලපත්‍ර බලාත්මක කිරීමේ පිරිවැය එයට ඇතුළත් වේ. සමහර පිරිවැය යම් පරාසයකට හෝ රේඩියෝ සේවාවකට පොදු විය හැකි අතර (පරාස සැලසුම්කරණය වැනි) අනෙක් ඒවා පොදු කාර්ය කළමනාකරණය වැනි පරාස සමූහයකට පොදු විය හැකි ය.

බලපත්‍ර ගාස්තු, ප්‍රේක්ෂාවලී කළමනාකරණයට වැය වන පිරිවැයට අමතරව ප්‍රේක්ෂාවලි ප්‍රවේශයේ ආවස්ථික පිරිවැය පිළිබිඹු කරයි. කාර්යක්ෂම සංඛ්‍යාත වර්ණාවලි භාවිතය සඳහා දිරිගැන්වීම් සපයන ගාස්තු නියම කිරීම සඳහා පවතින බලපත්‍ර ගාස්තු සැලසුම කලින් කලට සමාලෝචනය කෙරෙනු ඇත