ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


TRCSL වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම

පියවර 2

ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ (‘පනත’) 09 වැනි වගන්තිය යටතේ කරන ලද පැමිණිලි විමර්ශනයට සහ විමසුමට TRCSL වෙත බලය ඇත.

  1. ඔබේ සේවා සපයන්නා ඔබේ පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියා කිරීමට අපොහොසත් වූ විට හෝ ඔබ සෑහීමකට පත්වන පරිදි ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපොහොසත් වූ විට ඔබට ඔබේ පැමිණිල්ල කොමිෂන් සභාවට ඉදිරිපත් කළ හැකිය.
  2. එවැනි සෑම පැමිණිල්ලක්ම ලිඛිතව තිබිය යුතු අතර පැමිණිල්ල ඉදිරිපත් කිරීමට හේතු පැහැදිලිව සඳහන් කළ යුතුය.
  3. පැමිණිල්ලකට අනුව සිදු කෙරෙන ඕනෑම විමර්ශනයක දී පැමිණිල්ලට හේතු වූ කිසියම් හේතුවක් හෝ කරුණක් නිවැරදි කිරීම සඳහා අවශ්‍ය යැයි සැලකෙන පියවර ගැනීමට සහ සුදුසු අවස්ථාවලදී මුල්‍ය සහන සැලසීමට කටයුතු කරන ලෙස කොමිෂන් සභාව අදාළ ක්‍රියාකරුට නියෝග කළ හැකිය.
  4. පැමිණිල්ලේ ස්වභාවය කුමක් වුවත් කොමිෂන් සභාව පාරිභෝගික පැමිණිලි සියල්ලටම ලිඛිතව පිළිතුරු දෙනු ඇත.
  5. පැමිණිල්ලක් පනතේ 09 වගන්තියේ දක්වා ඇති නිර්ණායකයට අයත් වන්නේ නම්, TRCSL විසින් පැමිණිල්ල පිළිබඳව සොයා බලා මතභේදය සමථයකට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ සේවා සපයන්නාගෙන් ඉල්ලා සිටී.
  6. පැමිණිල්ල සේවා සපයන්නාට දැනුම් දීමට කොමිෂන් සභාව ගෙන ඇති පියවර පිළිබඳව ලිපියක් මගින් පැමිණිලිකරුට දැනුම් දෙනු ලැබේ.
  7. ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සේවා සපයන්නා විසින් සිදු කරනු ලබන විධිවිධාන පිළිබඳ තොරතුරු කොමිෂන් සභාව වෙත ලැබුණු පසු සහ මෙම ක්‍රියාකාරී සැලැස්ම නියාමකයාට පිළිගත හැකි නම් / සහ කොමිෂන් සභාවේ රෙගුලාසිවලට අනුකූල වන්නේ නම් එය නිසි ලෙස පැමිණිලිකරු වෙත දැනුම් දෙනු ලැබේ.
  8. යෝජිත පිළියම හෝ සහන හෝ ක්‍රියාකරු විසින් ගෙන ඇති ක්‍රියා සැලැස්ම රෙගුලාසිවලට අනුකූල නොවේ නම් එය පැමිණිලිකරුට දැනුම් නොදෙන අතර TRCSL විසින් ඔබ වෙනුවෙන් අදාළ සේවා සපයන්නා සමග සාකච්ඡා කරනු ඇත.
  9. සේවා සපයන්නා විසින් ලබා දෙන සහන පිළිබඳව පැමිණිලිකරු සෑහීමකට පත් නොවන්නේ නම්, එම කාරණය ඔහු සමග සාකච්ඡා කර ලබා දිය හැකි විකල්ප විසඳුමක් සෙවීමට කටයුතු කෙරෙනු ඇති අතර එය පිළිගත නොහැකි නම් පාරිභෝගික පැමිණිලි විසඳීම සඳහා පිහිටුවා ඇති අභ්‍යන්තර කමිටුව වෙත යොමු කිරීමට කටයුතු කෙරෙනු ඇත.
  10. පාරිභෝගික පැමිණිලි විමර්ශනය කිරීමට, දෙපාර්ශවයටම සවන් දීමට සහ මතභේද විසඳීමට පහසුකම් සැලසීමට හෝ කොමිෂන් සභාව විසින් සාධාරණ තීරණයක් ගැනීම සඳහා ඵලදායී ක්‍රියාමාර්ග ඇතුළත් නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාව විසින් අභ්‍යන්තර කමිටුවක් පත් කර ඇත.