ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව




TRCSL ICT ස්වේච්ඡා වැඩසටහන 2024 - සහතිකපත් ප්‍රදානෝත්සවය

08 04 2025 - 15:40 PM

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් “ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා  තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ  ස්වේච්ඡා වැඩසටහන 2024”  මොරටුව විශ්ව විද්‍යාලය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහයෝගීත්වය ඇතිව  සංවිධානය කරන ලදී. මෙම වැඩසටහනේ සහතික ප්‍රදානෝත්සවය 2024 අප්‍රේල් 2 වන දින  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ දී  පැවැත්විණි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ස්වේච්ඡා වැඩසටහන යනු විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති අය ඇතුළු ග්‍රාමීය ප්‍රදේශවල සිසුන් සහ ගුරුවරුන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය ප්‍රවර්ධනය  කිරීම කෙරෙහි අවධානය යොමු කරන ප්‍රධාන ධාරිතාවය ගොඩනැගීමේ වැඩසටහනකි. 2011  වසරේ දී ආරම්භ වූ ජාත්‍යන්තර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ස්වේච්ඡා වැඩසටහනේ සාර්ථකත්වය මත පදනම්ව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව  විසින් ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ (ITU) මග පෙන්වීම යටතේ 2019  වසරේ දී නියමු ව්‍යාපෘතියක් ලෙස සිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ස්වේච්ඡා වැඩසටහන  ආරම්භ කරන ලදී. එතැන් සිට, මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 15 ක පාසල් 46 ක සිසුන් සිය ගණනකට ප්‍රතිලාභ ලබා දෙමින් සැලකිය යුතු ලෙස පුළුල් වී ඇත.

මෙම වසරේ දී , මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ (BIT) උපාධි වැඩසටහනේ උපාධි අපේක්ෂකයින් 35 දෙනෙකු මෙම වැඩසටහනට  සහභාගී වූහ. ආරම්භක  පුහුණු සැසියෙන්  පසුව, ස්වේච්ඡා සේවකයින් මාස දෙකක කාලයක් සඳහා දිස්ත්‍රික්ක 13 ක රජයේ පාසල් 35 කට  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ  ස්වේච්ඡා දායකයින්  ලෙස සේවය කිරීම සඳහා අනුයුක්ත කරන ලදී.

දුරස්ථ ප්‍රදේශවල සිසුන් අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතාවය වැඩිදියුණු කිරීමට අමතරව,  මෙම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ස්වේච්ජාදායකයින්,  තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පුහුණුව ලබා දී , පසුව අන් අය පුහුණු කිරීම පිණිස කුසලතා වලින් ඔවුන් සන්නද්ධ කරමින් ස්වයං- තිරසාර දැනුම හුවමාරු පද්ධතියක් නිර්මාණය කිරීමේ වැඩසටහනේ ප්‍රධාන ප්‍රතිලාභීන් වශයෙන් ද  සැලකේ. මෙම වැඩසටහන ඔස්සේ  ඔවුන් ලබා ගන්නා අත්දැකීම් සහ පළපුරුද්ද  තුළින් ස්වේච්ඡා සේවය, රැකියා සහ ව්‍යවසායකත්වය උදෙසා  ප්‍රශස්ත අවස්ථා උදා කර ගැනීමෙහි  ලා  දොරටු විවර කරයි. මෙම වැඩසටහන රට පුරා ඩිජිටල් අන්තර්ගතය ප්‍රවර්ධනය කිරීම සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ  වටිනා වේදිකාවක් ලෙස අඛණ්ඩව ක්‍රියා කරයි.

See all photos of the Certificate Awarding Ceremony >>

පුවත් සහ සිදුවීම්