ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව




හදිසි සන්නිවේදන හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජපාන රජය

07 04 2026 - 15:53 PM

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව, ශ්‍රී ලංකාව තුළ ජාතික ආධුනික ගුවන්විදුලි හදිසි සන්නිවේදන ජාලයක් ස්ථාපිත කිරීම සඳහා  කලාපීය මානුෂීය ආරක්ෂක ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදානය කිරීමේ වැඩසටහන (GGP) යටතේ  ජපාන රජය සමඟ ප්‍රදාන ගිවිසුමකට එළඹුණි.

 

මෙම ප්‍රදාන ගිවිසුම 2026 මාර්තු 24 වන දින ජපාන රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා මැතිතුමා සහ  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ  සභාපති  සහ  ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මැතිතුමා විසින් අත්සන් කරන ලදී. මෙම අත්සන් කිරීමේ උත්සවය කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී දෙරටේ උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

 

ඇමෙරිකානු ඩොලර් 181,837 ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 57 ක්) පමණ වටිනා මෙම ප්‍රදානය මගින්  දිගු දුර සන්නිවේදනය සඳහා යෝග්‍ය උච්ච සංඛ්‍යාත (HF) පාදක මධ්‍යස්ථාන,  ඉතා උච්ච සංඛ්‍යාත / අති උච්ච සංඛ්‍යාත පාදක  ග්‍රාහකයන්   (VHF/UHF base station transceivers) ,  ක්ෂේත්‍ර භාවිතය සඳහා අතින් ගෙන යා හැකි ගුවන්විදුලි උපකරණ (hand-held radios for field deployment) සහ   ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇතුළු වෘත්තීය මට්ටමේ ආධුනික  ගුවන්විදුලි  සන්නිවේදන උපකරණ ප්‍රසම්පාදනය සඳහා පහසුකම් සැලසෙනු ඇත. ස්වාභාවික ආපදා අවස්ථාවලදී සාම්ප්‍රදායික  විදුලි සංදේශ  පද්ධති  බි වැටිය  හැකි බැවින්, එවැනි අවස්ථාවල හදිසි ප්‍රතිචාර කටයුතු සඳහා භාවිතා කළ හැකි ශක්තිමත් සහ ස්වාධීන සන්නිවේදන ජාලයක් ස්ථාපිත කිරීම  මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

 

ජාතික අභිලාෂයන්ට අනුව, විශේෂයෙන් හදිසි සේවා සඳහා සහාය වීමේදී, කාර්යක්ෂම හා විශ්වාසදායක සන්නිවේදන සේවා ප්‍රවර්ධනය කිරීමෙහි ලා වන   ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ  මූලික වගකීමට අනුකූලව  මෙම මුලපිරීම සිදු කෙරේ . ජාතික ආපදා සූදානම සහ ප්‍රතිචාර හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරමින්, ආධුනික ගුවන්විදුලි සංගම් සහ බලපත්‍රලාභී ක්‍රියාකරුවන් සමඟ සහයෝගයෙන්  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව  විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ඇත.

 

ස්වාභාවික ආපදා අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීම  සහ   ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුභසාධනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම උදෙසා  ශ්‍රී ලංකාවේ ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීමට ජපානය දක්වන අඛණ්ඩ කැපවීම තානාපති ඉසෝමාටා මැතිතුමා මෙහිදී අවධාරණය කළේය.

 

ශ්‍රී ලංකාවේ සන්නිවේදන  ස්ථායීතාවය  වැඩිදියුණු කිරීම සඳහා ලබාදෙන අඛණ්ඩ සහයෝගය  වෙනුවෙන්  ශ්‍රී ලංකා විදුලි සං‌දේශ නියාමන කොමිෂන් සභාව , ජපාන රජයට සහ ජපන් ජනතාවට සිය හෘදයාංගම කෘතඥතාව පළ කරයි.

 

(ඡායාරූප ලබා ගැනීම: කොළඹ ජපාන තානාපති කාර්යාලය)

පුවත් සහ සිදුවීම්